ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත වඩාත් ශක්තිමත් කරමින්, වත්මන් ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි නව පනත් සංශෝධන රැසක් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් රජයට යෝජනා කර තිබේ. සාම්ප්‍රදායික වෙළඳ දැන්වීම් තහනම මඟහරිමින් දුම්කොළ සමාගම් විසින් අන්තර්ජාලය සහ විවිධ කලාත්මක නිර්මාණ හරහා දියත් කරනු ලබන සූක්ෂ්ම “අඳුරු වෙළඳ උපක්‍රම” (Dark Marketing) මුළුමනින්ම මර්දනය කිරීම මෙම නව සංශෝධනවල ප්‍රධානතම අරමුණයි.
NATA අධිකාරිය විසින් නිල වශයෙන් යෝජනා කර ඇති නවතම ප්‍රතිපත්තිමය සංශෝධන අතර පහත සඳහන් ප්‍රධාන කරුණු දෙක ඇතුළත් වේ:
පොදු ස්ථානවල දුම්වැටි භාවිතය තහනම් කිරීම: මහජනතාව, විශේෂයෙන්ම ද්විතීක දුම්පානයට (Passive Smoking) ගොදුරු වන දූ දරුවන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා සියලුම පොදු ස්ථානවල දුම්වැටි භාවිතය නීතිමය වශයෙන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම.
ඩිජිටල් සහ කලාත්මක මාධ්‍ය ප්‍රවර්ධන තහනම: අන්තර්ජාලය ඇතුළු සියලු ආකාරයෙන් දුම්වැටි භාවිතය දිරිගන්වනු ලබන ගීත, ගීත ඇල්බම, චිත්‍රපට, ටෙලිනාට්‍ය මෙන්ම යූ ටියුබ් (YouTube), ෆේස් බුක් (Facebook) වැනි සමාජ මාධ්‍ය ජාලා සහ වීඩියෝ සංවාද (Video Chats) හරහා සිදුකෙරෙන සියලුම ආකාරයේ වක්‍ර ප්‍රචාරණ සහ දැන්වීම් පූර්ණ වශයෙන් තහනම් කිරීම.
ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණ (GATS) දත්තවලට අනුව, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20.4%ක් චිත්‍රපට තුළින් ද, 26.2%ක් විවිධ වෙළඳ දැන්වීම් සහ ක්‍රීඩා අනුග්‍රහකත්වයන් තුළින් ද වක්‍රව දුම්කොළ ප්‍රවර්ධනයට නිරාවරණය වන බව හෙළි වී ඇත. දුම්කොළ සමාගම් විසින් මෙම කලාත්මක සහ ඩිජිටල් මාධ්‍ය අවභාවිත කරමින් සමාජය තුළ දුම්පානය සාමාන්‍යකරණය කිරීමට දරන උත්සාහය වැළැක්වීමට මෙම නීති කඩිනමින් බලාත්මක කළ යුතුව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දුම්කොළ පාලන රාමුවට (FCTC) අනුව රටක් ලෙස මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බැවින්, NATA ආයතනය ඉදිරිපත් කර ඇති මෙම ප්‍රගතිශීලී සංශෝධන වහාම නීතිගත කරන ලෙස සෞඛ්‍ය සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.
















