ලංකාව පුරා ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස 456ක් අතුරින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නිසි පරිදි ලියාපදිංචි කර ඇත්තේ වැඩිහිටි නිවාස 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ. ඒ අනුව ඉතිරි වැඩිහිටි නිවාස 320ක්ම කිසිදු රාජ්‍ය අධීක්ෂණයකින් තොරව නීති විරෝධී ලෙස පවත්වාගෙන යමින් පවතී.
පවත්නා නීතියට අනුව වැඩිහිටි තැනැත්තන් පස්දෙනකුට (05) වඩා රඳවා තබාගන්නා ඕනෑම වැඩිහිටි නිවාසයක් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු වේ. ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර වසර 12කට අධික කාලයක් ගතවී තිබුණ ද, බහුතරයක් වැඩිහිටි නිවාස මෙතෙක් ලියාපදිංචි වීමට පියවර ගෙන නොමැති බව විගණන වාර්තාව මඟින් පෙන්වා දී ඇත.
මෙලෙස නිසි ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යන වැඩිහිටි නිවාසවල සිටින මව්පියන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය පහසුකම් සහ නඩත්තු කටයුතු පිළිබඳව කිසිදු රාජ්‍ය ආයතනයකට නිසි අධීක්ෂණයක් සිදු කළ නොහැකි බැවින් මේ හරහා බරපතළ සමාජයීය ගැටලු රැසක් මතුවීමේ අවදානමක් පවතින බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
















