වැඩ කරන ජනතාවට තමන්ගේ රැකියා කටයුතු අතරතුර ඕනෑම අවස්ථාවක උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා රජයේ පවතින එකම සහ සුවිශේෂී ආයතනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) බවත්, එම පද්ධතිය නංවාලීම වෙනුවෙන් රජය සෘජුවම මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ ඊයේ (05) පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
දිගු කලක් තිස්සේ කුරුණෑගල ශාඛාව මුහුණ දී සිටි දේශන ශාලා හිඟය, යටිතල පහසුකම් අඩුපාඩු සහ සනීපාරක්ෂක ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් ලෙස නව ඉඩමක් ලබාදීමට මෙහිදී තීරණය විය. විශ්වවිද්‍යාලයට අවශ්‍ය ඉඩම දැන් ලැබී තිබෙන නිසා, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගෙන ගොඩනැඟිලි ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් සැලසුම් කළ යුතු බව අගමැතිනිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ ඉදිරි පියවර කිහිපයක් ද අනාවරණය කළාය. ඇය සඳහන් කළේ මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු නිල වශයෙන් ඊයේ සිට ආරම්භ කර ඇති බවයි. එමෙන්ම 2027 වසරේදී 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු සූදානම් කෙරෙන අතර, මේ වසරේ (2026) 1 ශ්‍රේණිය සඳහා ආරම්භ කළ ප්‍රතිසංස්කරණවලට අදාළ 2 වන සහ 3 වන වාර පෙත් මේ වන විටත් නිකුත් කර අවසන් බව ද ඇය පැවසුවාය.
මීට අමතරව ලබන වසරට අදාළ ගුරු පුහුණු වැඩසටහන් කඩිනමින් ඇරඹෙන අතර, ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුව විසඳීම සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. විදුහල්පතිවරුන්ගේ දිගුකාලීන වැටුප් විෂමතාවය විසඳීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
















