අඟුරුවාතොට ‘සෙනෙහසේ කැදැල්ල’ රැකවරණ නිවාසයේ ඇති වූ බරපතළ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත එල්ල වන චෝදනා ශ්රී ලංකා ප්රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය දැඩි ලෙස ප්රතික්ෂේප කරයි. එහි සභාපති ආර්. සෙන්දිල් මහතා අද (06) ප්රකාශ කළේ, මෙම නිවාසයේ පැවැති අවදානම් සහ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මිල්ලනිය ප්රාදේශීය ලේකම්වරිය විසින් පසුගිය පෙබරවාරි මස 06 වැනිදාම ලිඛිතව බලධාරීන් දැනුවත් කර තිබූ බවයි. ආබාධිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ පොලිසිය වෙත එම ලිපි යොමු කර තිබේ.
ප්රාදේශීය ලේකම්වරිය විසින් යොමු කළ ලිපියට අනුව, 2024 නොවැම්බර් මස ඇරඹි මෙම ආයතනය මුලින් මානසික රෝගී කාන්තාවන් සඳහා පමණක් වෙන්ව තිබුණ ද, පසුව නීති විරෝධී ලෙස පිරිමි පුද්ගලයන් ද ඇතුළත් කරගෙන ඇත. නිසි ආරක්ෂිත වැටක් නොමැති වීම නිසා නේවාසිකයන් පැන යාමේ සිදුවීම් සහ මරණ කිහිපයක් ද මීට පෙර වාර්තා වී තිබිණි.
ධාරිතාව ඉක්මවා නේවාසිකයන් බඳවා නොගන්නා ලෙසත්, සෞඛ්යාරක්ෂිතව පවත්වාගෙන යන ලෙසත් ප්රාදේශීය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් වරින් වර එහි හිමිකරුවන්ට උපදෙස් දුන්න ද ඔවුන් ඒවා සම්පූර්ණයෙන්ම නොතකා හැර ඇත. කිසිදු නියාමනයකින් තොරව පෞද්ගලික පදනමින් පවත්වාගෙන ගිය මෙම නිවාසයට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස ඇය කළ ඉල්ලීම් බලධාරීන් පැහැර හැරීමේ අවසාන ප්රතිඵලය මෙම මහා ඛේදවාචකය බව සංගමය පෙන්වා දෙයි.
















