රටේ පවතින දැඩි මූල්‍ය අර්බුදය මධ්‍යයේ සාමාන්‍ය ජනතාව මත අධික වැට් බදු පටවමින් සහ මුදල් නොමැති බව පවසමින් අත්‍යවශ්‍ය සමාජ සුභසාධන කටයුතු ප්‍රතික්ෂේප කරන රජය, සිගරට් සමාගම් සඳහා රහසිගතව රුපියල් කෝටි 1,730ක (රුපියල් බිලියන 17.3ක) දැවැන්ත බදු සහනාධාරයක් ලබා දී ඇති බව වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ නවතම විමර්ශන වාර්තාව මඟින් යළිත් තහවුරු කර තිබේ. දුම්කොළ සමාගම් විසින් මිල ඉහළ දමන සෑම අවස්ථාවකම රජය විසින් බදු වැඩි කළ බවට ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක ව්‍යාජ ප්‍රචාරයන් (Fake News) දියත් කළ ද, සිගරට් සඳහා පනවන විශේෂ සුරාබද්ද (Excise Tax) නියමිත පරිදි මිලට සාපේක්ෂව ඉහළ නොදැමීම හේතුවෙන් මෙම බදු ප්‍රතිශතය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට වඩා බරපතල ලෙස පහත වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙලෙස මහජන මුදලින් දුම්කොළ කර්මාන්තයට රහසින් අත්හැර දැමූ රුපියල් කෝටි 1,730ක බදු ආදායම, රටේ සමස්ත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල මෙන් 1.2 ගුණයකට අධිකය. එමෙන්ම එය රටේ දූ දරුවන්ගේ පෝෂණ කටයුතු නඟාසිටුවීමට වෙන් කළ මුදල මෙන් 1.3 ගුණයක් වන අතර, පෞද්ගලික අංශයේ සේවිකාවන්ගේ මාතෘ නිවාඩු දීමනා ගෙවීම සඳහා ඇස්තමේන්තුගත සම්පූර්ණ පිරිවැය මෙන් 2.4 ගුණයකි. මුදල් හිඟකම හේතුවෙන් මෙවැනි අතිශය තීරණාත්මක මානුෂීය සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම රජය විසින් මඟහරිමින් සිටින පසුබිමක, ලෝක බැංකුව, IMF සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා බදු වැඩි කිරීමට එකඟ වී ඇති මාරාන්තික නිෂ්පාදනයකට මෙලෙස බදු සහන සැපයීම දැඩි පිළිකුලට ලක්ව තිබේ.
මෙම මහා පරිමාණ ජාතික ධන හානිය සහ ප්‍රතිපත්තිමය දූෂණය වසන් කිරීම පිටුපස දුම්කොළ සමාගම්වල මූල්‍ය ප්‍රතිපාදන මත යැපෙන මිලදී ගත් මාධ්‍යවේදීන්, ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය හසුරුවන්නන් (Social Media Influencers) සහ දූෂිත රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් බලවත් ජාලයක් ක්‍රියාත්මක වන බව වේරිටේ රිසර්ච් වාර්තාව සෘජුවම අවධාරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන රාමුගත සම්මුතිය (WHO FCTC) 2003 වසරේදී අත්සන් කරන ලද ප්‍රථම ආසියානු රට ශ්‍රී ලංකාව වන බැවින්, රටට ජාත්‍යන්තර බැඳීමක් ද පවතී. මේ හේතුවෙන්, කිසිදු නව නීතියක් පැනවීමකින් තොරව සහ පොදු මහජනතාව මත කිසිදු අමතර බදු බරක් නොපටවා, සිගරට් මිලෙහි බදු සංරචකය වහාම ජාත්‍යන්තර ප්‍රමිතිය වන 75% දක්වා ඉහළ දමා මෙම මහා පරිමාණ ජාවාරම නතර කරන ලෙස ආර්ථික හා සෞඛ්‍ය විද්‍යාඥයෝ වත්මන් රජයෙන් දැඩිව ඉල්ලා සිටිති.
















