පානදුර දකුණ පොලිස් වසමේ කුරුප්පුමුල්ල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී විදේශීය නිෂ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
ඊයේ (05) පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම නිවස වටලා පරික්ෂා කර ඇත. එහිදී නිවස තුළ සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 9ක්, ටී-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 49ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 280ක් සහ මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිත කරන විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම නීතිවිරෝධී භාණ්ඩ හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 39ක් වන පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















