වැට් බදු ඇතුළු අධික ජීවන වියදමෙන් බැටකන සාමාන්‍ය ජනතාව, ලංකා දුම්කොළ සමාගම වෙත රජය විසින් රහසිගතව ලබා දී ඇති රුපියල් කෝටි 1,730ක (රුපියල් බිලියන 17.3ක) දැවැන්ත බදු සහනය වහාම අහෝසි කර එම මුදල යළි අයකර ගන්නා ලෙස සිවිල් සහ විද්වත් සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.
කිසිදු අලුත් නීතියක් පැනවීමකින් තොරව සහ පොදු ජනතාවට අමතර පීඩනයක් නොදී, සිගරට් බදු ප්‍රතිශතය වහාම ජාත්‍යන්තර ප්‍රමිතිය වන 75% දක්වා ඉහළ දමා, අහිමි කළ රුපියල් කෝටි 1,730ක ජාතික ධනය වහාම භාණ්ඩාගාරයට පවරා ගන්නා තෙක් මෙම සංවිධාන සටන් කරන බව පැවසේ. එසේම, පාසල් සහ ටියුෂන් පන්ති අවට දරුවන් බිලිගන්නා ‘වේප්’ (Vapes) සහ නිකොටින් පැකට් මාෆියාව වහාම මර්දනය කිරීමට NATA පනත කඩිනමින් සංශෝධනය කරන ලෙස ද ඔවුහු බලකර සිටිති.
















