වැඩිහිටි නිවාස නියාමනය කිරීම සඳහා මධ්‍යම රජයට සෘජුවම නීති හා රෙගුලාසි සකස් කිරීමට නීතිමය බලයක් නොමැති වීම හේතුවෙන්, ඒ සඳහා පළාත් සභාවල එකඟත්වය ලබා ගැනීමට සිදුවීමෙන් එම කටයුතු තරමක් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ‘සමාජ සේවා’ විෂය දැනට පවතින්නේ පළාත් සභා යටතේ බැවින්, මෙම රෙගුලාසි සකස් කිරීමේදී පළාත් සභාවල එකඟත්වය ලබා ගැනීම අනිවාර්ය වී ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේය. පළාත් සභාවල එකඟත්වයකින් තොරව රෙගුලාසි පැනවීමට පළාත් සභා ප්‍රධානීන් විරෝධය පළ කරන නමුත්, ඔවුන්ගේ එකඟතාව ගෙන මෙම රෙගුලාසි කඩිනමින් සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, වැඩිහිටි සුභසාධනය වෙනුවෙන් සකස් කෙරුණු නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු එය දැනට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
දැනට දිවයින පුරා ලියාපදිංචි වැඩිහිටි නිවාස 455ක් පවතින අතර, ඒවායේ වැඩිහිටියන් 10,000කට ආසන්න පිරිසක් නේවාසිකව සිටිති. මෙයට අමතරව රට පුරා පවතින ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස පිළිබඳවද සොයා බලා ඒවා ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බවත්, ඉන් බොහොමයක නිසි පහසුකම් හෝ ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැති බව අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
















