පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාම සියයට 50ත් 55ත් අතර අගයක් ගන්නා බවයි. මෙම මස 5 වන දින වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 36,168ක් වන අතර, ඉන් අඩක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
මෙම ව්‍යාප්තිය බස්නාහිර පළාතට පමණක් සීමා නොවී ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්කවලද තියුණු ලෙස ඉහළ ගොස් ඇත. වසරේ මුල් භාගයේ සිට පැවති වැසිබර කාලගුණික තත්ත්වය සහ විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ප්‍රදේශ ගණනාවක එක්රැස් වූ කසල සහ අපද්‍රව්‍ය හේතුවෙන් මදුරු කීටයන් බෝවන ස්ථාන බහුල වීම මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බව වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණයයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, පොදු ස්ථාන සහ නිවෙස් අවට පිරිසිදු කිරීම සඳහා මහජනතාවගේ වගකීම සහ අවධානය මෙහිදී අත්‍යවශ්‍ය වේ. වසංගත රෝග තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි මෙම අවදානම පාලනය කිරීමට නම් මදුරු මර්දන වැඩසටහන් වඩාත් ක්‍රමවත්ව සහ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ පිළිබඳ නොසැලකිලිමත් වීම ඉදිරියේදී මහජන සෞඛ්‍යයට තවදුරටත් බරපතළ තර්ජනයක් විය හැකිය.
















