රජයේ බදු ප්‍රතිපත්තිවලට සෘජුවම බලපෑම් කරමින් මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි ගණනක ධනස්කන්ධයක් තමන් සතු කරගන්නා දුම්කොළ කර්මාන්තය, එම මුදල් උපයෝගී කරගනිමින් සමාජය සහ පාලකයන් මුලා කිරීම සඳහා අතිදැවැන්ත “බොරු ප්‍රවෘත්ති” (Fake News) කර්මාන්තයක් ඉතාමත් සක්‍රීයව පවත්වාගෙන යන බව ආර්ථික හා සමාජ විද්‍යා පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබේ. සැබෑ කරුණු, විද්‍යාත්මක පර්යේෂණ සහ ගෝලීය එකඟතාවන් යටපත් කරමින්, සමාජය තුළ ව්‍යාජ මතවාද වැපිරීම සඳහා මෙම ක්ෂේත්‍රය තුළ විශාල වශයෙන් මුදල් ආයෝජනය කෙරේ.
මෙම ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම සඳහා ඕනෑම අවස්ථාවක මුදලට ගත හැකි (Guns for hire) විවිධ පාර්ශව රැසක් ක්‍රියාත්මක වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඒ අතර සම්ප්‍රදායික ප්‍රචාරක මාධ්‍යවේදීන්, වත්මන් සමාජ මාධ්‍ය ජාලාවල සිටින “සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්” (Social media influencers), දූෂිත නිලධාරීන් මෙන්ම මුදලට වාර්තා සපයන ඇතැම් නව පර්යේෂණ ආයතන ද (Play for pay research institutions) සිටිති. දුම්කොළ සමාගම් විසින් සමාජය සහ දේශපාලනඥයන් තමන්ගේ බිලී බා ගැනීමට ප්‍රධාන වශයෙන් ව්‍යාජ තර්ක තුනක් ඉදිරිපත් කරනු ලබයි:
– පළමු මුසාව: දුම්වැටි බදු වැඩි කළහොත් පරිභෝජනය සීඝ්‍රයෙන් පහත වැටී රජයට ලැබෙන සමස්ත බදු ආදායම මුළුමනින්ම කඩා වැටෙනු ඇත.
– දෙවන මුසාව: බදු වැඩි කිරීම නිසා නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන එන හොර සිගරට් (Smuggled substitutes) ජාවාරම ඉහළ ගොස් රජයේ ආදායම අහිමි වනු ඇත.
– තෙවන මුසාව: අධික බදු හේතුවෙන් දුම්වැටි කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටී දුම්කොළ වගා කරන ගොවීන් දැඩි අගාධයකට ඇද වැටෙනු ඇත.
කෙසේ වෙතත්, මෙරට ප්‍රමුඛ පර්යේෂණ ආයතන වන වෙරිටේ රිසර්ච් (Verité Research), ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) මෙන්ම ලෝකයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාල සහ ලෝක බැංකුව (World Bank), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැනි ජාත්‍යන්තර බහුපාර්ශවීය ආයතන විසින් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ වාර්තා මගින් දුම්කොළ සමාගම්වල මෙම සියලුම තර්ක අසත්‍ය සහ පදනම් විරහිත බව දත්ත සහිතව ඔප්පු කර ඇත.
ආර්ථික විද්‍යාත්මක න්‍යායන්ට අනුව දුම්වැටි මත බදු පැනවීම හරහා එකවර වැදගත් කාර්යයන් තුනක් ඉටු වේ. එනම්, රජයේ සුභසාධන කටයුතුවලට අවශ්‍ය බදු ආදායම ඉහළ යාම, දුම්වැටි නිසා රෝගී වන ජනතාව වෙනුවෙන් රජයේ රෝහල් පද්ධතියට දැරීමට සිදුවන අධික පිරිවැය සීමා වීම සහ ඉන්ධන බදු මෙන් නොව, සිගරට් බදු වැඩි කිරීම නිසා රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, විදුලිය හෝ ප්‍රවාහන ගාස්තු වැනි පොදු ජන ජීවිතයට බලපාන දෑවල මිල ගණන් ඉහළ නොයාමයි. එබැවින්, බුද්ධිමත් දේශපාලනඥයන් සහ තීරණ ගන්නන් දුම්කොළ සමාගම්වල මෙම ව්‍යාජ ප්‍රචාරයන්ට හසු නොවිය යුතු බව ආර්ථික විශේෂඥයෝ දැඩිව අවධාරණය කරති.
















