සෑම සතියකම සඳුදා දිනය මහජන දිනය ලෙස වෙන්කර තිබුණද, එදිනට විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) විවිධ රැස්වීම් කැඳවීම හේතුවෙන් මහජනතාවට සේවය සැපයීමේදී බාධා මතුවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන්, හෙට (08) සිට ක්‍රියාත්මක වන පරිදි මහජන දිනය වන සඳුදා දිනයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාමාන්‍ය කටයුතුවලට බාධාවක් වන අයුරින් පැවැත්වෙන වෙනත් කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව එම සංගමයේ සභාපති ආර්. සෙන්තිල් මහතා ප්‍රකාශ කරයි. මෙම තීරණය ගනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණෙන මහජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දීමේ අරමුණින් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව, පවතින ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව තම ඉන්ධන දීමනාව සංශෝධනය කර ලබාදෙන ලෙස ඉල්ලා එම සංගමය විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් ද යොමු කර ඇත. ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වීම සඳහා මෙම දීමනා වැඩි කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙයි.
















