දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ගි විසින් එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස 58 හැවිරිදි හැන් සියොන් සූක් මහත්මියව නම් කර තිබේ. දකුණු කොරියානු ඉතිහාසයේ අගමැති ධුරයට කාන්තාවක් පත්වන දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2006-2007 කාලසීමාවේදී හැන් මියුන්ග් සූක් මහත්මිය එරට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත.
වත්මන් අග්‍රාමාත්‍ය කිම් මින් සූක් මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය සඳහා වන ඉදිරි ඡන්ද විමසීමකට තරග කිරීමේ අරමුණින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බැවින්, ජනාධිපතිවරයා මෙම නව පත්කිරීම සිදුකර තිබේ. ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර, දකුණු කොරියාවේ විශාලතම අන්තර්ජාල සමාගම වන ‘නේවර්’ (Naver) හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කර ඇති ඇය, පසුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර පිළිබඳ අමාත්‍යවරිය ලෙස ද සේවය කර තිබේ. ඇයගේ වෘත්තීය අත්දැකීම් සහ නායකත්ව ගුණාංග හේතුවෙන් මෙම තනතුර සඳහා ඇයව තෝරාගෙන ඇති බව වාර්තා වේ.
















