මධ්‍යධරණී කලාපයේ සිය ආරක්ෂක හැකියාවන් සහ හමුදා බල තුලනය ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ග්‍රීසිය සහ සයිප්‍රස් රාජ්‍යය ඉන්දියාවේ නිෂ්පාදිත ‘බ්‍රාහ්මෝස්’ (BrahMos) සුපර්සොනික් කෘස් මිසයිල මිලදී ගැනීමට සැලසුම් කරමින් සිටී. නවදිල්ලි නුවර පැවති ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වලදී මෙම කරුණ මූලික වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
මෙම ගනුදෙනුව පිළිබඳව තුර්කියේ දැඩි අවධානය යොමුවී ඇති අතර, සයිප්‍රස් රාජ්‍යය මෙම මිසයිල පද්ධතිය ලබා ගැනීම නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ පවතින හමුදා බල තුලනය විශාල ලෙස වෙනස් කරනු ඇති බවට තුර්කි ආරක්ෂක විශ්ලේෂකයින් අනතුරු අඟවයි. 2026-2030 ආරක්ෂක මාර්ග සිතියම යටතේ ඉන්දියාව සමඟ ශක්තිමත් ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට ග්‍රීසිය තීරණය කර ඇති අතර, ඒ යටතේ ඒකාබද්ධ හමුදා පුහුණුව, සමුද්‍රීය ආරක්ෂාව, වරාය සංවර්ධනය සහ සයිබර් ආරක්ෂණ කටයුතු ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
ග්‍රීසිය සහ සයිප්‍රසය වැනි යුරෝපීය රටවල් ඉන්දියාවේ නිෂ්පාදිත උසස් තාක්ෂණික ආරක්ෂක උපකරණ වෙත මෙසේ යොමුවීම, ඉන්දීය ආරක්ෂක අපනයන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
















