“දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු” යන තේමාව යටතේ 2026 වසරේ ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳි මහතා එහිදී සඳහන් කළේ, පසුගිය වසරක කාලය තුළ රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කිරීමට රජය සමත් වී ඇති බවයි.
මෙම සැමරුමට සමගාමීව රිටිගල, අලියා වැටුණු වැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර පහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය. තවද, මාගම වැලි කඳුවැටිය විශේෂ බලපෑමට යටත් වන ප්‍රදේශයක් ලෙස නම් කිරීම, අලිමංකඩ නිදහස් කිරීම සහ නව පාරිසරික වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දීම ද මෙහිදී සිදුවිය.
පරිසර ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ පරිසරය රැකගැනීම සඳහා යල්පැන ගිය නීති රීති සහ අණපනත් සංශෝධනය කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතින බවයි. අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල අලිමංකඩ තුනක් විවෘත කිරීමට සහ අලි කළමනාකරණ රක්ෂිත සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමට ද රජය පියවර ගෙන තිබේ. පින්නවල අලි අනාථාගාරය අලි අභිජනන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සඳහා අවශ්‍ය භෞතික සම්පත් සහ යටිතල පහසුකම් ලබා දීම ද මේ යටතේ සිදුවේ.
පරිසර සමතුලිතතාවය සහ සමාජ-ආර්ථික සංවර්ධනය අතර සමතුලිතතාවක් ඇති කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. දේශගුණික විපර්යාස රාමුගත සම්මුතියට අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව දායක වෙමින් සිටින අතර, ජගත් පරිසර දින සැමරුමට සමගාමීව මැයි 30 සිට ජුනි 05 දක්වා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ද රට පුරා ක්‍රියාත්මක කෙරිණි.
















