2014 සිට 2024 දක්වා කාලය තුළ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබූ මහා පරිමාණ සෞඛ්‍ය ව්‍යාපෘති 25ක වැඩකටයුතු යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 76,000ක මුදලක් වෙන් කර ඇත. 2025 අය-වැයෙන් මිලියන 16,000ක්, 2026 වසර සඳහා මිලියන 19,000ක් සහ 2027 වසර සඳහා මිලියන 38,000ක් වශයෙන් මෙම මුදල් වෙන් කිරීමට සැලසුම් කර ඇත.
ක්‍රියාත්මක වෙමින් පවතින සහ අවසන් අදියරේ පවතින ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් මෙසේය:
ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ සහ වාට්ටු සංකීර්ණයේ ඉදි කිරීම් මිලියන 389ක වියදමින් අවසන් කර ඇත. රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහල් 12කින් යුත් “පුංචි හදවත්” ඒකකයේ වැඩ කටයුතු මිලියන 6218ක ඇස්තමේන්තුගත මුදලකින් අවසන් අදියරේ පවතී. මහනුවර ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ (අදියර 2) වැඩ කටයුතු අවසන් කර ඇති අතර ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය අවසන් අදියරේ පවතී. බදුල්ල ශික්ෂණ රෝහලේ දස මහල් ගොඩනැගිල්ල සහ සය මහල් පිළිකා රෝග ඒකකයේ වැඩ කටයුතු මිලියන 1000ක වියදමින් ක්‍රියාත්මක වේ. 2014 ආරම්භ කළ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ කටයුතු මිලියන 3000ක වියදමින් අවසන් අදියරට පැමිණ ඇත. මීට අමතරව යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු ඒකකය, කරාපිටිය ශල්‍ය වෛද්‍ය ඒකකය, මඩකලපුව සහ හම්බන්තොට වකුගඩු සත්කාරක ඒකක සහ මුල්ලේරියාව ජාතික ආඝාත මධ්‍යස්ථානයේ රෝග විනිශ්චය අංශය මේ යටතේ දියුණු කෙරේ.
ළමා හා මාතෘ සෞඛ්‍ය, පිළිකා ප්‍රතිකාර, හෘද සහ තැලසීමියා ප්‍රතිකාර, හදිසි අනතුරු සත්කාර සේවා, සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක් මෙම සංවර්ධන වැඩසටහනට ඇතුළත් වේ. මීට අමතරව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ එක්ව රෝහල් 15ක ආසාදිත අපද්‍රව්‍ය දහනය කරන යන්ත්‍ර (Incinerators) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.
රත්නපුර, කළුතර, අනුරාධපුර සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල හෙද අධ්‍යාපන සහ නේවාසිකාගාර සංකීර්ණ ඉදිකිරීම් ඇතුළුව, රෝහල් යටිතල පහසුකම් නවීකරණය සඳහා තවත් රුපියල් මිලියන 8800කට අධික මුදලක් වෙන් කර ඇත. මෙම සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතා සේවයට එක් කරන ලෙස අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
















