කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (ජුනි 08) නිකුත් කළ නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළං නිරිත දෙසින් හමා එන අතර වේගය පැයට කි.මී. 30-40 කි. කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී. 60-70 දක්වා වැඩි විය හැකිය. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී. 50-60 දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන අතර, එම ප්‍රදේශවලට ඉදිරි දැනුම් දීමක් වනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට උපදෙස් ලබා දී ඇත. සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි අතර, මන්නාරමේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 – 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.
















