හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට බන්ධනාගාරය තුළ සිදුවන බව කියන අමානුෂික සැලකීම් පිළිබඳව තමන් කළ ප්‍රකාශ අසත්‍ය නම්, තමන්ට එරෙහිව නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පොලීසියට අභියෝග කරයි. සුරේෂ් සලේ මහතාට සිදුවන වධහිංසා පිළිබඳ තමන් ඉදිරිපත් කළ කරුණු සියල්ල කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක අධිකරණ වෛද්‍ය වාර්තාව සහ සලේ මහතාගේ පවුලේ සාමාජිකයන් ලබාදුන් තොරතුරු මත පදනම් වූ බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
සලේ මහතාට විශේෂ හිරිහැරයක් සිදු නොකරන බවටත්, අනෙකුත් සිරකරුවන්ට සලකන ආකාරයටම ඔහුට සලකන බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැඩි විවේචනයක් එල්ල කළේය. බන්ධනාගාර තුළ සිරකරුවන්ට සලකන අමානුෂික ක්‍රමවේදයන් පොලීසිය මේ හරහා වක්‍රව පිළිගෙන තිබේදැයි ඔහු ප්‍රශ්න කර සිටී.
සිරකරුවන්ද මනුෂ්‍යයන් බව පවසන ගම්මන්පිල මහතා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ මානව හිමිකම් කොමිසම දැනුවත් කර ඇති බව සඳහන් කළේය. මීට අමතරව, 2026 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ විශේෂ නියෝජිතයා වෙත (UN Special Rapporteur on Torture) ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ වාර්තාවක් සකස් කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
















