ශ්‍රී ලංකාව තුළ සීඝ්රයෙන් ඉහළ යන දුම්වැටි භාවිතය පාලනය කිරීම, තරුණ පරපුර මාරාන්තික ඇබ්බැහි වීම්වලින් ආරක්ෂා කර ගැනීම සහ දුම්කොළ සමාගම් මගින් රජයට අහිමි කරන බදු ආදායම් නැවත උපයා ගැනීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ මෙරට දේශීය සෞඛ්‍ය හා ආර්ථික විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධානතම ප්‍රතිපත්තිමය නිර්දේශ 5ක් ඇතුළත් නිල දත්ත වාර්තාවක් අනාවරණය වී තිබේ. රටේ මහජන සෞඛ්‍යය මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වහාම ක්‍රියාත්මක කළ යුතු එම ප්‍රධාන නිර්දේශ පහ මෙසේය:
1. තනි සිගරට් ලෙස දුම්වැටි අලෙවිය තහනම් කිරීම: මෙරට අලෙවි වන සිගරට්වලින් 89%ක්ම සිල්ලරට විකිණීම නිසා තරුණයන් සහ පාසල් ළමුන් පහසුවෙන් ඇබ්බැහි වන අතර, තනි සිගරට් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම මගින් එම ප්‍රවේශය අහුරා දැමිය හැකිය.
2. සම්මත ඇසුරුම්කරණය (Plain Packaging) නීතිගත කිරීම: දුම්වැටි ඇසුරුම්වල ඇති ආකර්ෂණීය ස්වභාවය සහ වෙළඳ නාම ප්රවර්ධනයන් මුළුමනින්ම ඉවත් කර, ඒකාකාරී සම්මත ඇසුරුම් ක්‍රමවේදයක් නීතියක් ලෙස හඳුන්වා දීම.
3. අධ්‍යාපන ආයතනයක සිට මීටර 100ක් ඇතුළත දුම්වැටි අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම තහනම් කිරීම: පාසල්, උපකාරක පන්ති සහ අනෙකුත් අධ්‍යාපන ආයතන අවට ඇති කඩසාප්පුවල සිගරට් විකිණීම සපුරා තහනම් කිරීම හරහා සිසුන් දුම්පානයට යොමුවීමේ අවදානම අවම කිරීම.
4. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට (NATA Act) යෝජනා කර ඇති සංශෝධන සම්මත කර ගැනීම: පවතින නීතිමය හිඩැස් සහ අක්‍රමිකතා මඟහරවා ගනිමින්, කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි නව සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ක්‍රියාත්මක කිරීම.
5. දුම්කොළ සමාගම් රජයට ගෙවිය යුතු බදු අයකර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම: ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75%ක බදු නිර්දේශය සපුරාලමින්, මේ වසරේ පමණක් රටට අහිමි වූ රුපියල් කෝටි 1,730ක (බිලියන 17.3) දැවැන්ත බදු ආදායම නිසි පරිදි අයකර ගැනීම සඳහා විධිමත් මූල්‍ය ප්‍රතිපත්තියක් වහාම සකස් කිරීම.
















