2026 වසරේ මැයි මාසය තුළ සංචාරකයින් 145,745 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මැයි මාසයකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම ලෙස සටහන් වන බව සංචාරක සංවර්ධන අධිකාරී දත්ත පෙන්වා දෙයි. මෙය පසුගිය වසරේ (2025) මැයි මාසයේ පැමිණි සංචාරකයින් 132,919 දෙනාට සාපේක්ෂව සියයට 9.6ක සැලකිය යුතු වර්ධනයකි.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්වූ 2021 වසරේ මැයි මාසයේදී පැමිණ තිබුණේ සංචාරකයින් 1,497 දෙනෙකු පමණි. ඊට සාපේක්ෂව බලන කල මෙවර මැයි මාසයේදී සියයට 9,600%කට අධික අතිවිශාල ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව ඇත. පසුගිය වසර කිහිපය පුරාම මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ලැබුණු අතර, 2022 වසරේ 30,207ක්, 2023 වසරේ 83,309ක්, 2024 වසරේ 112,128ක් සහ 2025 වසරේ 132,919ක් වශයෙන් සංචාරක පැමිණීම් අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.
මෙම සාර්ථකත්වය සඳහා වැඩි වශයෙන්ම දායකත්වය සපයා ඇත්තේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවලින් පැමිණි සංචාරකයින්ය. මෙම නවතම දත්ත මඟින් පැහැදිලි වන්නේ විවිධ අභියෝග මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව නැවත වතාවක් ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණීයම සහ ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්වෙමින් තිබෙන බවයි.
















