ආක්‍රමණය කර තිබෙන බටහිර ඉවුරේ (West Bank) පිහිටි ඊශ්‍රායල ජනාවාස සහ පදිංචිකිරීම් කලාප සමඟ පවතින සියලුම වෙළඳ සබඳතා වහාම නතර කරන ලෙස බලකරමින් බ්‍රිතාන්‍යයේ පාලක ‘ලේබර්’ (Labour) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් අත්සන් කරන ලද විශේෂ ලිපියක් අද (08) බ්‍රිතාන්‍ය රජය වෙත භාරදී තිබේ.
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් (Keir Starmer) මහතා, ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සමීපතම මිතුරෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය සමබරව පවත්වාගෙන යාමට උත්සාහ කළ ද, පලස්තීනුවන්ට එරෙහිව සිදුවන ඊශ්‍රායල ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ඔහුගේම මධ්‍ය-වාමාංශික පක්ෂය තුළින් මේ වන විට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතී.
“ආක්‍රමණය කර ඇති බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම තුළ පලස්තීනුවන්ට එරෙහිව දිනෙන් දින ඉහළ යන ඊශ්‍රායලයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව වගවීමක් සහ ප්‍රත්‍යක්ෂ ප්‍රතිවිපාකයන් පැනවීමේ දැඩි අවශ්‍යතාවක් පවතිනවා. ඒ සඳහා මෙම ජනාවාස සමඟ සිදුකරන වෙළඳාම තහනම් කිරීම අත්‍යවශ්‍යම ඊළඟ පියවරක්” යැයි එම ලිපියේ සඳහන් වේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ (House of Commons) පවතින ආසන 650න් ආසන 402ක් හිමි ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරුන් 137 දෙනෙකු මෙම ලිපිය සඳහා අත්සන් තබා ඇත. බොහෝ ජාත්‍යන්තර රටවල් මෙම ඊශ්‍රායල පදිංචිකිරීම් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන පසුබිමක මෙම ඉල්ලීම ඉදිරිපත්ව තිබේ.
















