රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ තබා ගැනීමට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහයට පොලීසිය බාධා කිරීම හෙළා දකිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිය නිල ෆේස්බුක් (Facebook) පිටුවෙහි විශේෂ සටහනක් තබා තිබේ.
වත්මන් රජයේ සහ පොලීසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු තැබූ සටහන මෙසේය:
“වැල්ලවත්තේ කොටි සමරද්දි නිදා සිටි පොලිසිය රණවිරු සලේ වෙනුවෙන් පෙනීසිටි සත්‍යග්‍රහයට කඩාපනී!
පසුගිය දිනවල වැල්ලවත්ත ඇතුළු උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල ප්‍රසිද්ධියේ කොටි සැමරුම් සහ බෙදුම්වාදී උත්සව පවත්වද්දී, නීතිය ක්‍රියාත්මක නොකර දෑස් පියාගෙන නිදා සිටි පොලීසිය, අද රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ රණවිරුවකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සාමකාමීව පැවැත්වූ සත්‍යග්‍රහයට කඩා පැන තිබේ.
මහා සංඝරත්නය සහ දේශපාලන නායකයින් එක්ව සාමකාමීව සිදුකළ මෙම විරෝධතාවය වෙනුවෙන් ඉදිකර තිබූ තාවකාලික අට්ටාලය පවා පොලීසිය විසින් බලහත්කාරයෙන් කඩා බිඳ දමා ඉවත් කර ඇත.
පාස්කු ප්‍රහාරයේ සැබෑ කරුණු යටපත් කරමින්, දේශපාලන පළිගැනීම් වෙනුවෙන් දියත් කර ඇති මෙම මර්දනය වහාම නතර කළ යුතුය. රට වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ බුද්ධි අංශ ප්‍රධානීන් දඩයම් කරමින්, බෙදුම්වාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට පාර කපන වත්මන් පාලකයන්ගේ මෙම ද්විත්ව පිළිවෙත සහ අශිෂ්ට මර්දනයට එරෙහිව සමස්ත දේශප්‍රේමී ජනතාව පෙළ ගැසිය යුතුය!”
කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (08) පෙරවරුවේ ආරම්භ වූ මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා විමල් වීරවංශ මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයින් රැසක් සෘජුවම සහභාගී වී සිටි අතර, පොලීසිය විසින් එහි අට්ටාල ඉවත් කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.
















