ඔස්ට්‍රේලියාව තුළ භාවිත වන දුම්වැටිවලින් 80%ක්ම නීති විරෝධී හොර වෙළඳපොළෙන් (Illicit Market) මිලදී ගන්නා ඒවා බව පවසමින්, දුම්කොළ සමාගම්වල මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන පර්යේෂණ ආයතන සහ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නිල දත්ත සාවද්‍ය ලෙස අවභාවිත කරමින් දියත් කර තිබූ මහා පරිමාණ ප්‍රචාරණ මාෆියාවක සැබෑ නිරුවත ඔස්ට්‍රේලියානු පිළිකා කවුන්සිලය (Cancer Council Australia) සහ ඔස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍ය සංගමය (PHAA) එකාබද්ධව ලෝකය හමුවේ හෙළිදරව් කර තිබේ. ඔස්ට්‍රේලියානු පිළිකා කවුන්සිලයේ දුම්කොළ පාලන කමිටුවේ ප්‍රධානී මහාචාර්ය ලිබී රොබින්සන් පෙන්වා දෙන්නේ, සිගරට් සමාගම් විසින් බදු ආදායම් අහිමි වීම සහ මිල ඉහළ යාම පිළිබඳ සංඛ්‍යාලේඛන හිතාමතාම අතිශයෝක්තියෙන් පෙන්වීමට උත්සාහ කරන්නේ, රජය විසින් පනවා ඇති වාර්ෂික දුම්කොළ බදු ඉහළ දැමීම් වැනි සාර්ථක මිල ප්‍රතිපත්ති ආපස්සට හැරවීමට (Roll back) බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දුම්කොළ පාලනය පිළිබඳ විශේෂඥ ආචාර්ය රොබට් බීගල්හෝල්ගේ විද්‍යාත්මක දත්තවලට අනුව, දුම්වැටි මිල 10%කින් ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියාව වැනි ඉහළ ආදායම්ලාභී රටවල සමස්ත දුම්වැටි පරිභෝජනය සෘජුවම 4%කින් පහත හෙළන බව තහවුරු වී තිබේ. මේ හේතුවෙන්, මිල ඉහළ යද්දී ජනතාව දුම්පානයෙන් වැළකීම වැළැක්වීම සඳහා, හොර සිගරට් බූවල්ලෙකු මවාපාමින් රජය ලවා සිගරට් මිල සහ බදු ප්‍රතිශතයන් අඩු කරවාගෙන තමන්ගේ බිඳවැටෙන ලාභය සහ පාරිභෝගික පදනම රැකගැනීමට දුම්කොළ සමාගම් මෙලෙස සාවද්‍ය දත්ත ව්‍යාප්ත කරන බව හෙළි වී ඇත.
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ (UCL) දුම්කොළ ඇබ්බැහිවීම් පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ මහාචාර්ය රොබට් වෙස්ට් ඇතුළු ජාත්‍යන්තර ස්වාධීන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, සිගරට් සමාගම් පවසන 80%ක අගය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් (Fake News) වන අතර, ඔස්ට්‍රේලියාවේ සැබෑ නීති විරෝධී වෙළඳපොළ පවතින්නේ 15%ත් 20%ත් අතර අතිශය සාමාන්‍ය මට්ටමක බවයි. ‘දුම්කොළවලින් තොර ඔස්ට්‍රේලියාවක්’ (Tobacco-Free Australia) සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා මේරි ජෝන්ස් අවධාරණය කරන්නේ, දුම්කොළ භාවිතය නිසා ඇතිවන පිළිකා ඇතුළු ලෙඩ රෝග හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජයට වසරකට ඩොලර් බිලියන 137කට අධික දැවැන්ත සෞඛ්‍ය පිරිවැයක් දැරීමට සිදුවන පසුබිමක, සිගරට් සමාගම්වල ව්‍යාජ වාර්තාවලට රැවටී බදු ලිහිල් කිරීම රටේ අනාගතය පාවාදීමක් බවයි. වික්ටෝරියා ප්‍රාන්ත පිළිකා කවුන්සිලයේ චේතන් සාරි පෙන්වා දෙන්නේ, රජය කළ යුත්තේ මිල අඩු කිරීම නොව, ‘ක්‍රිටිකල් ඉන්ෆ්ලෝ’ (Critical Inflow) වැනි වැටලීම් ශක්තිමත් කරමින් හොර ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් පැමිණවීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින දුම්කොළ පාලන මිල සහ බදු ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කිරීම පමණක් බවයි.
















