පාස්කු ප්‍රහාරයේ ලිපිගොනු සහ බුද්ධි අංශ වාර්තා යටගැසූ නිලධාරීන් වත්මන් රජය විසින් ආරක්ෂා කරමින්, රට වෙනුවෙන් යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කැකිරාවේ පැවැති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රය බවත්, ඒ අනුව හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිරගත කරගෙන සිටින බවත් චෝදනා කළේය. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වගකීම් පැහැර හැර පසුව ෆයිල් සැඟවූ නිලධාරීන් අද වන විට ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බව පැවසූ ඔහු, රටක බුද්ධි අංශ දුර්වල කිරීම තුළින් ජාතික ආරක්ෂාව බිඳ වැටෙන බව පසුගිය යහපාලන සමයේදී ද ඔප්පු වූ බව සිහිපත් කළේය.
එසේම, වත්මන් රජයට කෘෂිකර්මාන්තය හෝ ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ කිසිදු වුවමනාවක් නොමැති බවත්, පොහොර මිල රුපියල් 18,000 සිට 25,000 දක්වා කළු කඩයේ විකිණෙන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. විපක්ෂයේ සිටියදී කුඹුරට බැස මඩ නාගත් පිරිස් බලයට පත්වීමෙන් පසු ගොවියා අමතක කර ව්‍යාපාරිකයන් රැකීමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වසර 10ක් පුරා රුපියල් 350 බැගින් පොහොර ලබා දෙමින් ගොවි ආර්ථිකය ශක්තිමත් කළ බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී පිහිටුවන ඕනෑම රජයක් යටතේ මහපොළොවේ පය ගහපු ගොවි ජනතාව සහ රණවිරුවන් රැකීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ද අවධාරණය කළේය.
















