මෙරට ජන ජීවිතයට තාක්ෂණය සමීප කරවන “ඩිජිටල් ශ්‍රී ලංකා” ජාතික වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් තබමින්, ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර (NEMIS HRM – Phase 1) සහ ‘ඊ-තක්සලාව’ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ (LMS) නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමේ උළෙල පසුගියදා (06) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකළ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමානව අත්විඳිය හැකි ප්රජාතන්ත්රවාදී අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කළ යුතු බවයි. රජයේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව මෙන්ම විනිවිද භාවයකින් යුතුව ජනතාවට ලබාදීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය මෙවලමක් වන අතර, වෙනස් වන ලෝකය සමඟ අපද ඉදිරියට යා යුතු බව ඇය පෙන්වා දුන්නාය.
උත්සවය ඇමතූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණය හරහා නාගරික සහ ග්‍රාමීය ප්‍රජාවන් අතර පවතින සමාජීය අගාධය පියවාලමින් සමාජ සාධාරණත්වය අත්පත් කරගැනීම රජයේ මූලික අපේක්ෂාව බවයි. විද්‍යුත් පාලනය සහ ඩිජිටල් සාක්ෂරතාවය හරහා 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ජාතික අභිලාෂය කරා යාමට රජය කැපවී සිටින බව ද ඔහු පැවසීය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් නව පද්ධතීන් නිල වශයෙන් දියත් කරන ලද අතර, මේවා සාර්ථකව නිමවීම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) නිලධාරීන් වෙත සහ පළාත් අධ්‍යාපන සංවර්ධන කණ්ඩායම වෙත ඇගයීම් උපහාර තිළිණ පිරිනැමීම ද සිදු විය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිළධාරීන් රැසක් එක්ව සිටියහ.
















