ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත කොළඹ කේන්ද්‍ර කරගනිමින් විශේෂ පොසොන් කලාපයක් පැවැත්වීමට තීරණය කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජාතික බාලදක්ෂ පොසොන් කලාප කමිටුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඒ අනුව මෙම ජාතික බාලදක්ෂ පොසොන් කලාපය එළඹෙන ජුනි 28 සහ 29 යන දෙදින පුරා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වය ඇතිව, දිවයින පුරා විසිරී සිටින සියලුම බාලදක්ෂ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙය සංවිධානය කෙරේ. ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා වූ කලාපය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම පොසොන් කලාපය තොරණ, පහන් කූඩු, මිහින්තලා අනුරූ, භක්ති ගීත සහ දන්සල් ඇතුළු ආගමික ප්‍රබෝධය මෙන්ම සංහිඳියාව වැඩිදියුණු කෙරෙන වැඩසටහන් රැසකින් සමන්විත වන බව ද වාර්තා වේ.
















