මෙරට තරුණ පරපුර දුම්කොළ සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදනවලින් මුදාගෙන, “දුම්කොළ රහිත පරපුරක්” බිහි කිරීමේ අරමුණින් සකස් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ දුම්කොළ පිටුදැකීමේ විශේෂ කමිටුවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පැවසුවාය.
දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය (CCT) විසින් කොළඹ ජෙට්වින් හෝටලයේදී සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.
මෙම ඓතිහාසික කෙටුම්පත අඩංගු කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත දැනටමත් භාරදී ඇති බව ඇය සඳහන් කළාය. විශේෂයෙන්ම 2010 වසරෙන් පසුව උපන් තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබේ.
මෙහි ඉදිරි පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරිය,
“කැබිනට් අනුමැතිය ලැබුණු වහාම මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයකින් පසු ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. රටේ අනාගතය වෙනුවෙන් මහජන නියෝජිතයන් සියලු දෙනා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මීට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. යම් හෙයකින් කැබිනට් මණ්ඩලය හරහා මෙය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත්, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් (Private Member’s Bill) ලෙස හෝ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා.” යැයි දැඩිව අවධාරණය කළාය.
















