පාසල් පද්ධතියෙන් නිර්මාණශීලී දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යොවුන් නිපැයුම් සමාජ ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ, නැඟෙනහිර පළාතේ පාසල්වල යොවුන් නව නිපැයුම් සමාජ හා පාසල් විද්‍යා සංගම් 100ක් නිල වශයෙන් පිහිටුවීමට පියවර ගෙන ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.
විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම සුවිශේෂී වැඩසටහන ආරම්භ කෙරිණි. නැඟෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙහිදී යොවුන් නව නිපැයුම් සමාජ මෙහෙයවීම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සිදු කරනු ලබන අතර, පාසල් විද්‍යා සංගම් මෙහෙයවීම ජාතික විද්‍යා පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහි ඉදිරි අරමුණු සහ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලධාරීන් මෙසේ සඳහන් කළහ.
“එදිනෙදා ජීවිතයේ හමුවන ගැටලු, බාධක ලෙස නොසලකා ඒ සඳහා විසඳුම් අත්හදා බැලීමට දරුවන් දිරිගැන්වීමත්, ඔවුන්ගේ කුතුහලය නිර්මාණයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සහිත මඟපෙන්වීම ලබාදීමත් යොවුන් නව නිපැයුම් සමාජ හරහා සිදු කෙරෙනවා. එමෙන්ම STEM අධ්‍යාපනය ඇතුළුව විද්‍යා අධ්‍යාපනය ජනප්‍රිය කිරීමේ වැඩසටහන් සඳහා පාසල් ප්‍රජාව ඵලදායී හා බලපෑම් සහිත ආකාරයකින් ක්‍රියාකාරීව සම්බන්ධ කරගැනීම පාසල් විද්‍යා සංගම් හරහා සිදු කිරීමට නියමිතයි.”
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මෙහොමඩ් නවවි, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය භාරතී කෙනඩි, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්‍යක්ෂ නලින් දොලවත්ත, ජාතික විද්‍යා පදනමේ විද්‍යාව සන්නිවේදන හා ප්‍රචාරණ අංශයේ ප්‍රධානී ආචාර්ය දිල්රුක්ෂි රණතුංග යන මහත්ම මහත්මීන් මෙන්ම විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
















