පද්ධතියේ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට
පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හදිසි පියවර
කැලණි වැලි දුම්රිය මාර්ගයට අලුතින් හඳුන්වා දෙන ලද නව ඉලෙක්ට්‍රොනික දුම්රිය ප්‍රවේශ පත්‍ර (ටිකට්) නිකුත් කිරීමේ පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්, අද (09) උදෑසන ධාවනය වූ දුම්රිය සේවාවන්හි ගමන් ගත් මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට නොහැකි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම හදිසි පද්ධති බිඳවැටීම හේතුවෙන් කැලණි වැලි දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. මේ හේතුවෙන් උදෑසන කාර්යාල සහ වෙනත් දෛනික අවශ්‍යතා සඳහා ගමන් කිරීමට පැමිණි මගීන් මුලින් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව ඇත.
වත්මන් තත්ත්වය සහ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව දුම්රිය බලධාරීන් මෙසේ කරුණු දක්වා සිටියි.
“අලුතින් හඳුන්වා දුන් ප්‍රවේශ පත්‍ර පද්ධතියේ ඇති වූ බලාපොරොත්තු රහිත තාක්ෂණික දෝෂයක් (Technical difficulties) මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. දුම්රිය ස්ථානවලින් ටිකට්පත් නිකුත් කිරීමට නොහැකි වුවත්, මගී ගමනාගමනයට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීමට අප පියවර ගත්තා. මේ වන විට අපගේ තාක්ෂණික ඉංජිනේරුවන් කණ්ඩායමක් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටිනවා. මගී ජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.”
දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ හැකි ඉක්මනින් මෙම දෝෂය නිරාකරණය කර සුපුරුදු පරිදි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.















