ඩෙලික්ලෙයාර් වතුයාය සහ ඒ අවට වතු කිහිපයක ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් බරපතළ ප්‍රවාහන ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දෙමින්, එම වතුයායේ සිට පතන හන්දිය දක්වා වූ නව බස් රථ සේවාවක් ඊයේ (08) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙම වතුයායේ ජීවත් වන 3,000කට අධික ජනතාව මෙතෙක් කාලයක් සිය දෛනික ගමනාගමන කටයුතු සිදු කරගත්තේ කිලෝමීටර් පහක දුරක් පයින් ගමන් කරමින් හෝ අධික වියදමක් දරමින් ත්‍රීරෝද රථ භාවිත කිරීමෙනි. නිසි ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් පාසල් සිසුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර, හදිසි රෝගී තත්ත්වයකදී රෝහල් වෙත රෝගීන් රැගෙන යාම පවා එම ජනතාවට විශාල අභියෝගයක්ව පැවතිණි.
ප්‍රදේශයේ නව ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීම සහ ඊට ලැබුණු රාජ්‍ය දායකත්වය පිළිබඳව වාර්තා වන අන්දම මෙසේය.
“මෙම වතු ජනතාව මුහුණ දුන් දීර්ඝකාලීන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම නව බස් රථ සේවාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම බස් රථය ධාවනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියේදී රජයෙන් විශේෂ දායකත්වයක් හිමි වූ අතර, ඒ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මංජුල සුරවීර ආරච්චි මහතාගේ විශේෂ මැදිහත්වීම සහ සහයෝගය ද අඛණ්ඩව ලැබුණා.”
මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලේසෙල්වි මෙනවිය, කොටගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති, තලවකැලේ නගර සභා සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමත් සමඟ ප්‍රදේශයේ වතු ජනතාවට තම දෛනික ගමනාගමන කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද පහසුවෙන් සහ අඩු වියදමකින් ඉටු කර ගැනීමට මින් ඉදිරියට අවස්ථාව උදාවනු ඇත.
















