කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ව්‍යාජ ලෙස පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 2018 සැප්තැම්බර් 09 වැනිදා නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේදී මෙම විශ්‍රාමික යුද හමුදා සෙබළා පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි. එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් ආරම්භ කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ අනුව, ඊයේ (08) දින නිට්ටඹුව පොලිස් වසමට අයත් රණ්පොකුණුගම ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම අපරාධයට සෘජුවම සම්බන්ධ සැකකරු කොටු කරගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි රණ්පොකුණුගම, නිට්ටඹුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ අනීතික ජීව පතරොම් සහ අවි ආයුධ පිළිබඳව පොලිසිය මෙසේ කරුණු දක්වයි.
“සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ඉතා සූක්ෂ්ම ලෙස සකස් කරන ලද, විදේශ රටක නිෂ්පාදිත ‘පෑනක හැඩයෙන් යුත්’ (Pen-gun) කුඩා ගිනිඅවියක් සොයාගැනීමට හැකි වුණා. ඊට අමතරව එම ගිනිඅවියට යොදන පතරොම් 05ක්, ටී-56 (T-56) ගිනිඅවි සඳහා යොදන පතරොම් 04ක්, මිලිමීටර් 09 (9mm) වර්ගයේ පතරොම් 08ක් සහ බෝර 12 වර්ගයේ පතරොම් 02ක් ද විමර්ශන නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.”
මෙම විශ්‍රාමික යුද හමුදා සෙබළා පැහැරගෙන යාමට හේතුව කුමක්ද සහ මීට සම්බන්ධ සෙසු පිරිස් කවුද යන්න අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.















