රජයේ ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමගාමීව රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Railway Season Tickets) මින් ඉදිරියට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන තම නිලධාරීන් වෙනුවෙන් දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර අයදුම් කිරීම සඳහා “ප්‍රවේශ” මාර්ගගත දුම්රිය ඩිජිටල් වේදිකාවෙහි (Digital Platform) අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුය. ඒ අනුව, රාජ්‍ය ආයතන මෙම පද්ධතිය වෙත ලියාපදිංචි කිරීමේ නිල සමාරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල “Waters Edge” හෝටල් පරිශ්‍රයේදී අද (09) දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විවිධ රාජ්‍ය ආයතන 35ක් නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙම අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර පහසුකම ලබාගැනීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් “ප්‍රවේශ” (Pravesha) ජංගම දුරකථන යෙදවුම (App) ඔස්සේ හෝ www.pravesha.lk නිල වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය යුතුය. එසේත් නැතහොත් තමන් සේවය කරන රාජ්‍ය ආයතනයේ අදාළ විෂය භාර නිලධාරියාගේ සෘජු සම්බන්ධීකරණයෙන් එම ආයතනයට හිමි ප්‍රවේශ මාර්ගගත පිවිසුම (Online Portal) ඔස්සේ ද මෙම සේවාවට ලියාපදිංචි විය හැකි වේ.
මෙලෙස පද්ධතියට ඇතුළත් වන නිලධාරීන්ට තමන්ගේ ආයතනික ලියාපදිංචිය තහවුරු කරගැනීමට සහ ඉදිරි ජූලි මාසය සඳහා අවශ්‍ය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර මාර්ගගතව ඉල්ලුම් කිරීමට 2026 ජුනි මස 15 වනදා සිට පූර්ණ අවස්ථාව සලසා දී තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සෘජු මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ “කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය” මඟින් මෙම නවීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි. රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය යථාර්ථයක් කිරීම, දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම මගී ජනතාවට වඩාත් ප්‍රශස්ත සහ පහසු සේවාවක් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලිකම අපේක්ෂාවන් වේ.
















