ජුනි මාසයේ මුල් දින 7 තුළ පමණක් ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින් 27,043 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, එම කෙටි කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,216කි. එය ජුනි මාසයේ සමස්ත සංචාරක පැමිණීම්වලින් 42%ක ඉහළ ප්‍රතිශතයකි. මීට අමතරව, අදාළ දින 7 ඇතුළත එක්සත් රාජධානියෙන් සංචාරකයින් 1,938ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,562ක් සහ චීනයෙන් 1,496ක් ද වශයෙන් මෙරටට පැමිණ තිබේ.
මේ අතර, 2026 වසරේ ජනවාරි 01 වනදා සිට ජුනි 07 වනදා දක්වා වූ කාලසීමාව තුළ මෙරටට පැමිණි සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,049,065ක් (දස ලක්ෂ හතළිස් නව දහස් හැට පහක්) ලෙස වාර්තා වී ඇත. එම සමස්ත සංචාරක පැමිණීම් අතරින් ද පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර, එරටින් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 261,476කි. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් එක්සත් රාජධානිය සහ රුසියාව දිනාගෙන ඇති අතර, එම කාලය තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 100,031ක් සහ රුසියාවෙන් සංචාරකයින් 76,332ක් මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
















