එංගලන්තයේ ලෝඩ්ස් සහ පකිස්ථානයේ ගඩාෆි (ලාහෝර්) ක්‍රීඩාංගණවල මෑතකදී පැවැති ජාත්‍යන්තර තරගවල තණතීරු ‘අසතුටුදායක’ බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එම ක්‍රීඩාංගණ දෙකට එක් දඬුවම් ලකුණ බැගින් (1 demerit point) පනවා ඇත.
එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරගය පැවැති ලෝඩ්ස් තණතීරුව පන්දු යවන්නන්ට පමණක් අධික ලෙස වාසිදායක වූ අතර, දින දෙකක් තුළ එහි කඩුලු 33ක් බිඳ වැටුණි. එය ලෝඩ්ස් ඉතිහාසයේ දෙවැනි කෙටිම ටෙස්ට් තරගය වූ බැවින් එහි හිමිකාරීත්වය දරන මාලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) ක්‍රීඩා ලෝලීන්ගෙන් නිල වශයෙන් සමාව අයද සිටියේය.
මේ අතර පකිස්ථාන – ඕස්ට්‍රේලියාව 3 වැනි එක්දින තරගය පැවැති ගඩාෆි ක්‍රීඩාංගණයේ තණතීරුව අධික ලෙස මන්දගාමී (Slow and low) වූ බවත්, එය එක්දින තරගයකට නොගැලපෙන බවත් තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි වාර්තා කර තිබුණි. ICC නීති අනුව වසර 5ක් ඇතුළත දඬුවම් ලකුණු 6ක් ලබාගන්නා ක්‍රීඩාංගණවලට මාස 12ක තරග තහනමක් පැනවෙන අතර, මෙම තීරණයට එරෙහිව අභියාචනා කිරීමට දෙරටට දින 14ක් හිමිවේ.
















