බහුජාතික දුම්කොළ සමාගම් විසින් තම ලාභය වෙනුවෙන් විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින්, ශ්‍රී ලංකාව තුළ ද සූක්ෂ්ම ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇති ආකාරය දුම්කොළ කර්මාන්ත නිරීක්ෂණ මධ්‍යස්ථානය (CCT) විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනාවරණය වී තිබේ. ලංකාවේ සිගරට් ඒකාධිකාරය හිමි, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට (BAT) 84%ක කොටස් අයිතිය ඇති ලංකා දුම්කොළ සමාගමේ (CTC) අනුබද්ධිත ව්‍යාපාරික ජාලයන් විසින්, “Tale of Two Nations Vol 9” නමින් ව්‍යාජ විද්‍යාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින් මෙරට මහජන සෞඛ්‍ය දත්ත සහ ප්‍රතිපත්ති දරුණු ලෙස විකෘති කර ඇති බව CCT කණ්ඩායම සාක්ෂි සහිතව හෙළිකරයි.
මෙම වාර්තාව 2025 නොවැම්බර් 8 වන දින “Smoke Free Sweden” වෙබ් අඩවියේ පළ කර ඇති අතර, මෙම ප්‍රචාරණය මෙහෙයවන “Health Diplomats” ආයතනය BAT සමාගම සමඟ සෘජුවම සම්බන්ධ (Direct Links) ආයතනයකි. මෙහි කතුවරුන් ලෙස කටයුතු කර ඇත්තේ BAT සමාගමේ අරමුදල් ලබන දකුණු අප්‍රිකානු ජාතික වෛද්‍ය ඩෙලෝන් හියුමන් (Delon Human) සහ ලංකාවේ අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දර යන අයයි. මොවුන් දෙදෙනාම බහුජාතික දුම්කොළ සමාගම්වලින් (BAT සහ PMI) සෘජුවම ප්‍රතිපාදන ලබමින්, දුම්කොළ කර්මාන්තයේ ලාභය රැකදෙන ව්‍යාජ “හානි අවම කිරීමේ උපක්‍රම” (Tobacco Harm Reduction) සහ විද්‍යුත් සිගරට් (Vaping) ප්‍රවර්ධනය කිරීමේ ජාත්‍යන්තර ප්‍රචාරකයන් බව “Tobacco Tactics” වාර්තා සනාථ කරයි.
CCT විමර්ශනයට අනුව, මෙම වාර්තාව හරහා ලංකාවේ සහ ජාත්‍යන්තර මහජනතාව නොමඟ යැවීම සඳහා ප්‍රධාන මුසාවන් (Misinformation) දෙකක් පදනම් කරගෙන ඇත:
– ස්වීඩනයේ සාර්ථකත්වය විද්‍යුත් සිගරට්වලට බැර කිරීම
ස්වීඩනය තුළ දුම්පානය අවම වීමට හේතුව එරට භාවිත වන ‘ස්නස්’ (Snus) සහ විද්‍යුත් සිගරට් (Vaping) වැනි විකල්ප නිකොටින් නිෂ්පාදන බව මෙම වාර්තාව පවසයි. නමුත් සැබෑ විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ ස්වීඩනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ FCTC ප්‍රඥප්තිය අකුරටම ක්‍රියාත්මක කරමින් දුම්කොළ ප්‍රචාරණය තහනම් කිරීම සහ පොදු ස්ථානවල දුම්පානය තහනම් කිරීම නිසා එම ජයග්‍රහණය ලැබූ බවයි. ස්වීඩනයට විද්‍යුත් සිගරට් හඳුන්වා දුන් 2015 වසර වන විටත් (1960 දශකයේ 50%ක්ව තිබූ දුම්පානය) දැඩි රාජ්‍ය නීති නිසා 11% දක්වා පහත වැටී තිබුණි. කතුවරුන් මෙම සැබෑ දත්ත සිතාමතාම සඟවා තිබුණි.
– ලංකාවේ දත්ත සිතාමතාම විකෘති කිරීම
මෙම වාර්තාවේ ඇතුළත් ප්‍රස්ථාර මඟින් ලංකාවේ පිරිමින්ගේ දුම්පාන ප්‍රතිශතය ඉහළ යන බව අසත්‍ය ලෙස පෙන්වා දී ඇතත්, විධිමත් දේශීය හා ජාත්‍යන්තර පර්යේෂණ රැසක් සනාථ කරන්නේ ශ්‍රී ලංකාවේ පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයේම දුම්වැටි භාවිතය වසරින් වසර සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවයි.
මෙම ව්‍යාජ වාර්තාව සමාජගත කිරීම සඳහා “The Sri GAGs” (TSG Advertising) නැමැති දේශීය වෙළඳ දැන්වීම් ආයතනයක් යොදාගෙන 2025 දෙසැම්බර් සහ 2026 මාර්තු මාසවලදී ෆේස්බුක් ඔස්සේ මතවාද පතුරුවා ඇති අතර, 2026 පෙබරවාරි 12 වන දින “Business News” නැමැති මෙරට අන්තර්ජාල ව්‍යාපාරික පුවත්පතක “ලංකාවේ දැඩි දුම්කොළ විරෝධී ප්‍රතිපත්ති නිසා ජීවිත 85,000ක් අහිමි වනු ඇත” යනුවෙන් දුම්කොළ සමාගමේ වුවමනාවට ලියැවුණු ව්‍යාජ ප්‍රවෘත්තියක් ද පළ කරවා ඇත. බාත් විශ්වවිද්‍යාලය හෙළිකළ “ලාභය සඳහා වූ විද්‍යා ආකෘතිය” (Science for Profit Model) අකුරටම භාවිත කරමින්, මහජනතාව තුළ සැකය සහ නොදැනුවත්කම වර්ධනය කර, මෙරට ක්‍රියාත්මක සාර්ථක දුම්කොළ විරෝධී නීති පද්ධතිය සහ බදු ප්‍රතිපත්ති දුර්වල කිරීම සඳහා දුම්කොළ මාෆියාව දියත් කළ මෙම කූට ජාත්‍යන්තර කුමන්ත්‍රණය පිළිබඳව වහාම අවධානය යොමු කරන ලෙස CCT කණ්ඩායම සෞඛ්‍ය බලධාරීන්ට සහ රජයට කියා සිටියි.
















