2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් හඳුන්වා දුන් මෙම නව විධිවිධාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට නිල වශයෙන් බලපැවැත්වේ.
මෙම නව රීති මඟින් භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් සිදු කිරීම සම්බන්ධයෙන් නව විධිවිධාන හඳුන්වා දී ඇත. ඒ අනුව, අපනයන ආදායම්වලින් අවසරලත් අත්‍යවශ්‍ය ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන සියලුම විදේශ මුදල්, එළැඹෙන මාසයේ 10 වැනි දිනට පෙර අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බව මහ බැංකුව අවධාරණය කරයි.
















