2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමෙරිකානු රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් විසින් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත. ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිටම ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇමෙරිකාව උපරිම සහයෝගය ලබා දී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇමෙරිකාව පෙන්වා දෙයි.
ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත ඇමෙරිකානු FBI නිලධාරීන් 33 දෙනෙකු ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමඟ එක්ව සාක්ෂි එකතු කිරීම සහ ඩිජිටල් උපාංග විශ්ලේෂණය ඇතුළු පුළුල් විමර්ශන රැසක් සිදු කළ බව එම ලිපියේ දැක්වේ. එම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ඇමෙරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ද ගොනු කරනු ලැබීය. මීට අමතරව ත්‍රස්තවාදයට එරෙහි නඩු පවරන ලංකාවේ රජයේ නීතිඥවරුන් සඳහා ඇමෙරිකාව වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩව පුහුණුව හා අධිකරණ සහය ලබා දී ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් ඉදිරියටත් සලකා බැලීමට සූදානම් බවත්, පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම වෙනුවෙන් ඇමෙරිකාව තවදුරටත් කැපවන බවත් එම ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
















