මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ (කරදිය) බාධකය හේතුවෙන් වගා කටයුතු කරගත නොහැකි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමේ කටයුතු අඛණ්ඩවම සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ, අගතියට පත් සියලුම ගොවීන් වෙත ඉදිරි දිනවලදී අදාළ වන්දි මුදල් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවයි.
මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජලයට කරදිය මුසුවීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේදී නිල්වලා ගඟ ආශ්‍රිතව මෙම කරදිය බාධකය ඉදිකරන ලදී. කෙසේ වෙතත්, මෙම බාධකය හේතුවෙන් 2019 වසරෙන් පසු සෑම වර්ෂාවකදීම කුඹුරු ඉඩම් ජලයෙන් යටවීම නිසා ගොවීන්ට දැඩි වගා හානි සිදු විය.
ඒ අනුව, 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අනුක්‍රමික වගා කන්න 7ක් පුරා පීඩාවට පත් ගොවීන්ට වන්දි දීමේ කටයුතු පසුගිය මැයි 27 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම ලවණ බාධකය නිසා අගතියට පත් සමස්ත ගොවීන් සංඛ්‍යාව 5,000ක් පමණ වන අතර, හානියට පත් වගා බිම් ප්‍රමාණය අක්කර 12,800කට ආසන්නය.
මෙම වැඩපිළිවෙළ යටතේ 2026 ජූනි මස 09 වැනිදා (අද) වන විට අක්කර 2,811ක වගා බිම්වලට අදාළව ගොවීන් 1,322 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 141.37ක වන්දි මුදල් චෙක්පත් මඟින් ප්‍රදානය කර තිබේ. අනෙකුත් සියලුම ඉතිරි ගොවීන් සඳහා ද ඉදිරි දිනවලදී කිසිදු ප්‍රමදයකින් තොරව වන්දි මුදල් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.















