පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් කිසිදු අනීතික ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
තමන්ට බුද්ධි අංශ නිලධාරීන් විසින් අමානුෂික ලෙස වදහිංසා පමුණුවන බව පවසමින් සුරේෂ් සලේ මහතා ආරම්භ කළ ආහාර වර්ජන උපවාසය හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මේ වන විට ඔහු රෝහලේ 42 වන වාට්ටුවේ සේලයින් ලබාදෙමින් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. කෙසේ වෙතත් අමාත්‍යවරයා පැහැදිලි කළේ ඔහු කිසිදු වදහිංසනයකට ලක්ව නොමැති බවයි.
මේ අතර, මෙම වදහිංසා පැමිණවීමේ චෝදනාව සම්බන්ධයෙන් ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) මැදිහත් වී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසකගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙම සිද්ධියට සහ විමර්ශනවලට සම්බන්ධ අනෙකුත් නිලධාරීන්ගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
















