හැටන් දික්ඔය ඩන්කන් වතුයායේ පාලන අධිකාරියට එරෙහිව එම වතුයායේ කම්කරුවන් දින පහක (05) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.
කහවත්ත වැවිලි සමාගම යටතේ පාලනය වන මෙම වතුයායේ කම්කරුවන් චෝදනා කරන්නේ රජය විසින් වැඩි කරන ලද රුපියල් 200ක දීමනාව තමන් වෙත ලබාදීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන නොමැති බවයි. දැනට සමාගම විසින් දිනක වැටුප ලෙස රුපියල් 1550ක මුදලක් ගෙවන බව වර්ජනයේ නිරත කම්කරුවෝ පවසති.
කෙසේ වෙතත්, එම රුපියල් 1550ක වැටුප ලබා ගැනීම සඳහා දිනකට අමු තේ දළු කිලෝග්‍රෑම් 20 බැගින් නෙළිය යුතු බවට වතු පාලන අධිකාරිය විසින් කොන්දේසියක් පනවා ඇති අතර, ඊට විරෝධය පළ කරමින් කම්කරුවන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් වතු කම්කරුවන්, වතු පාලන අධිකාරිය සහ වතුකරයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ (09) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එම සාකච්ඡාව ද එකඟතාවයකින් තොරව අවසන් වී ඇත්තේ කිසිදු ස්ථිර විසඳුමකට පැමිණීමට නොහැකි වෙමිනි.
















