විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (09) පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
විවිධ ක්ෂේත්‍රවලින් යෝජනා ඇවිත් තිබෙනවා
ආණ්ඩුව තුළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳ සාකච්ඡාවක් නොමැති වුවද, විවිධ වෘත්තීය කණ්ඩායම් වෙතින් විශ්‍රාම යන වයස ඉහළ දැමීම සඳහා වන යෝජනා ඉදිරිපත්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. රටේ උපතේදී අපේක්ෂිත ආයු කාලය ඉහළ යාම, පසුගිය කොවිඩ් සමයේදී වෘත්තිකයන් රැසක් රට හැර යාම සහ එම වෘත්තිකයන් සතු අත්දැකීම් රාජ්‍ය සේවයට තවදුරටත් ලබාගැනීමේ අවශ්‍යතාව මීට හේතුවී තිබේ.
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දීර්ඝ කළා
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60 සිට 63 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිහිපත් කළේය. ඒ අනුව දැනට මෙරටට පැමිණ සිටින විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටින බව ද ඔහු පැවසීය.
රෝහල් 4ක දත්ත සම්පූර්ණ වූ පසුව සමස්ත සෞඛ්‍ය පද්ධතියේ තොරතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, විවිධ වෘත්තිකයන්ගේ ඉල්ලීම් පැවතුණ ද විනිසුරුවරුන් සම්බන්ධයෙන් එවැනි වයස් සීමා දීර්ඝ කිරීමේ තීන්දුවක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















