ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර සංචාරක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි දෙරටේ සුවිශේෂී අවධානයක් යොමුව තිබේ.
මේ යටතේ සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ අධ්‍යයන චාරිකාවක් (familiarization trip) සංවිධානය කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ලංකාවේ වෛද්‍ය සහ සාප්පු සවාරි ප්‍රවර්ධනය කෙරේ
සීෂෙල්ස්හි ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයන් සහ එයාර් සීෂෙල්ස් (Air Seychelles) ආයතනයේ නියෝජිත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති. ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය සහ සාප්පු සවාරි සංචාරක (medical and shopping tourism) මෙන්ම සුවතා සේවා ක්ෂේත්‍රයන්හි පවතින ඉහළ විභවතාවන් මෙම පිරිස වෙත ප්‍රදර්ශනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
සීෂෙල්ස් වැසියන් වෙනුවෙන්ම විශේෂ සංචාරක පැකේජ
මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ සෞඛ්‍ය පහසුකම් සහ සාප්පු සවාරි අත්දැකීම් පිළිබඳව සෘජු අවබෝධයක් ලබා දීමට කටයුතු කර තිබේ. මෙමඟින් සීෂෙල්ස් වැසියන් ඉලක්ක කරගනිමින් මෙරටට පැමිණීම සඳහා සුවිශේෂී සංචාරක පැකේජ සකස් කිරීම අපේක්ෂා කෙරේ.
මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා එයාර් සීෂෙල්ස් සමාගම, ඇන්ඩෘ ට්‍රැවල් (Andrew Travel) පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් දායකත්වය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.
















