රජයේ ඩිජිතල්කරණ ජාතික වැඩපිළිවෙල යටතේ, රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Season Tickets) ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇත.
මෙම නව වැඩපිළිවෙල අනුව, රජයේ ආයතන විසින් තම නිලධාරීන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අයදුම් කිරීමේදී “ප්‍රවේශ” (Pravesha) ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. රාජ්‍ය නිලධාරීන්ට www.pravesha.lk
වෙබ් අඩවිය හරහා හෝ ‘ප්‍රවේශ’ ජංගම දුරකථන යෙදවුම ඔස්සේ හෝ තමන් සේවය කරන ආයතනයේ විෂය භාර නිලධාරියාගේ සහාය ඇතිව අදාළ ආයතනික පිවිසුම හරහා මෙම සේවාවට ලියාපදිංචි විය හැකිය.
ලියාපදිංචි වන නිලධාරීන්ට 2026 ජූලි මාසය සඳහා අවශ්‍ය අනුග්‍රාහ වාර ප්‍රවේශපත්‍ර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ජුනි 15 වනදා සිට හිමිවේ. “කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය” මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාව වන්නේ රාජ්‍ය සේවයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා දීමයි.
















