විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කෙසේ වෙතත්, විවිධ වෘත්තිකයින්ගෙන් විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම සඳහා යෝජනා ඉදිරිපත්ව ඇති බව අමාත්‍යවරයා තහවුරු කරයි. උපතේදී අපේක්ෂිත ආයු කාලය ඉහළ යාම, කොවිඩ් සමයේදී වෘත්තිකයින් විශාල පිරිසක් රට හැර යාම සහ අත්දැකීම් සහිත වෘත්තිකයින්ගේ සේවය රාජ්‍ය සේවයට තවදුරටත් ලබා ගැනීමේ අවශ්‍යතාවය යන කරුණු මත මෙම යෝජනා ඉදිරිපත්ව තිබේ.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60 සිට 63 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවත්, එලෙසම වෙනත් වෘත්තිකයින්ගේ ඉල්ලීම් ද ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, විනිසුරුවරුන් සම්බන්ධයෙන් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා නැවතත් අවධාරණය කළේය.
















