මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ (MWSIP) සැලසුම්කරණයේ සහ කළමනාකරණයේ පවතින බරපතල අසාර්ථකත්වයන් හේතුවෙන් රුපියල් බිලියන 6.86ක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පත් කළ කමිටුවක් අනාවරණය කරයි. වයඹ ඇළ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් වටිනාකම තවදුරටත් ඉහළ දැමීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් මෙම වාර්තාව සකසා ඇත.
2018 වසරේ රුපියල් බිලියන 7.22කට ලබාදුන් මෙම කොන්ත්‍රාත්තුව, වසර ගණනාවක ප්‍රමාදයන් හේතුවෙන් මේ වන විට රුපියල් බිලියන 16.60ක් දක්වා ඉහළ දැමීමට යෝජනා වී ඇත. ඉඩම් අත්පත් කර ගැනීමට පෙර කොන්ත්‍රාත්තුව ලබා දීම, දක්ෂ අධීක්ෂණ උපදේශකයන් නොමැති වීම සහ නිසි අනුමැතියකින් තොරව සිදුකළ රුපියල් මිලියන 987ක ගෙවීම් ආදිය මෙම ව්‍යාපෘතියේ පවතින ප්‍රධාන දෝෂයන් වේ.
මෙම ව්‍යාපෘතිය නිසි ලෙස කළමනාකරණය කළේ නම්, රුපියල් බිලියන 1.86ක වන්දි ඉල්ලීම් සහ රුපියල් බිලියන 5ක මිල ඉහළ යෑමේ පිරිවැය වළක්වා ගැනීමට තිබූ බව කමිටුව පෙන්වා දෙයි. එබැවින් ව්‍යාපෘතියේ තවදුරටත් වියදම් වැඩි කිරීමට පෙර, අදාළ සියලු පාර්ශවවල වගවීම තහවුරු කරන ලෙස කමිටුව නිර්දේශ කර ඇත. මේ අතර, මෙම ව්‍යාපෘතිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ‘අල්ලස්, දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ඉල්ලා තිබේ.
















