ශ්‍රී ලංකාවේ වේගයෙන් විකාශනය වන තාක්ෂණික ක්ෂේත්‍රය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමේ සහ බැංකුවේ ඩිජිටල් හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, 2026 වසර සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) පූර්ණ සාමාජිකත්වය දිනා ගැනීමට DFCC බැංකුව සමත් වී තිබේ.
මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන FITIS, තාක්ෂණික සේවා සපයන්නන්, නියාමකයින් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් එක් කරමින් මෙරට ඩිජිටල් සංවර්ධනයේ දිශානතිය තීරණය කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. වර්තමාන බැංකු ක්ෂේත්‍රය තුළ ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් සපුරාලීමට සහ මෙහෙයුම් සරල කිරීමට ඩිජිටල් තාක්ෂණය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇති පසුබිමක, මෙම තාක්ෂණික පද්ධතිය සමඟ සක්‍රීයව සම්බන්ධ වීමට DFCC බැංකුව ගත් මෙම තීරණය ඉතා වැදගත් පියවරකි.
ඩිජිටල් පරිවර්තනය ඔස්සේ කාර්යක්ෂම බැංකු සේවාවක්
DFCC බැංකුවට අනුව ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් එක් ව්‍යාපෘතියක් පමණක් නොව, එය බැංකුවේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය තුළටම මුසු වූ අංගයකි. සේවාවන් ලබාගැනීමේ සිට ගනුදෙනු සැකසීම සහ තීරණ ගැනීම දක්වා වූ සියලු අංශයන් මෙමගින් ආවරණය වේ. බැංකුවේ මූලික ඉලක්කය වන්නේ සේවා සැපයීමේදී ඇති වන බාධා අවම කරමින්, වඩාත් කාර්යක්ෂම සහ ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකු අත්දැකීමක් ලබා දීමයි.
FITIS සමඟ එක්වීම හරහා නැගී එන තාක්ෂණයන් සහ ක්ෂේත්‍රයේ නවතම තොරතුරු වෙත සෘජුවම ප්‍රවේශ වීමටත්, කර්මාන්තයේ ප්‍රමුඛයන් සමඟ අත්වැල් බැඳගනිමින් නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමටත් බැංකුව අපේක්ෂා කරයි. මීට අමතරව, වඩාත් සරල සහ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හැසිරවිය හැකි සේවාවන් හඳුන්වා දීමටත්, FITIS ‘ඩිජිටල් පරිච්ඡේදය’ හරහා බැංකු කාර්ය මණ්ඩලයේ ඩිජිටල් කුසලතා ඔපමට්ටම් කිරීමටත් මෙම සාමාජිකත්වය ඉවහල් වේ.
තාක්ෂණික දියුණුව හුදෙක් මෙවලම්වලට පමණක් සීමා නොවී, එය ආයතනික සංස්කෘතිය සහ ක්‍රියාවලීන් සමඟ මනාව ඒකාබද්ධ කිරීම සාර්ථකත්වයේ රහස බව DFCC බැංකුව විශ්වාස කරයි. FITIS වැනි ප්‍රමුඛ ආයතන සමඟ අත්වැල් බැඳගනිමින්, නවීන ගනුදෙනුකාර අවශ්‍යතාවලට ගැළපෙන, වඩාත් සරල සහ ප්‍රතිචාරාත්මක බැංකු සේවාවක් ලබා දීමට බැංකුව නිරන්තරයෙන් කැපවී සිටියි.
















