රජය විසින් මේ වසරේදී ඩොලර් බිලියන 8.094ක මුදලක් ණය සහ පොලී වශයෙන් ගෙවා ඇති බවට සංසරණය වන පුවත් අසත්‍ය බවත්, එය ජනතාව නොමඟ යවන ‘ඉලක්කම් විජ්ජාවක්’ පමණක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ, මෙම ගෙවීම් මගින් රටේ සමස්ත ණය බරෙහි කිසිදු අඩුවීමක් සිදුව නොමැති බවයි.
මානව හිමිකම් කේන්ද්‍රයේ දත්තවලට අනුව, වසරේ පළමු මාස තුන තුළ පමණක් මෙරට විදේශ ණය අමෙරිකානු ඩොලර් මිලියන 788කින් සහ දේශීය ණය රුපියල් බිලියන 490කින් ඉහළ ගොස් ඇත. රජය විසින් මූලික ණය වශයෙන් ඩොලර් බිලියන 5.98ක් සහ පොලී වශයෙන් ඩොලර් බිලියන 2.11ක් ගෙවා ඇති බව පෙන්වා දුන්නද, එම මුදල් ගෙවා ඇත්තේ දේශීය රුපියල් මගිනි. එසේ ගෙවූ මුදලට සමාන වටිනාකමක් නැවතත් භාණ්ඩාගාර බිල්පත් සහ සුරැකුම්පත් නිකුත් කිරීම මගින් දේශීය ණය ලෙස ලබාගෙන ඇති බැවින් ණය කන්දරාව අඩුවී නොමැත. 2026 පළමු කාර්තුව තුළ රජය සැබෑ ලෙසම ඩොලර්වලින් ගෙවා ඇත්තේ මිලියන 530ක් පමණි. වසරේ ඉතිරි කාලය තුළ තවත් ඩොලර් බිලියන 1.4ක් ගෙවීමට නියමිතව තිබේ.
2026 පළමු කාර්තුව තුළ රජය විසින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා සමස්ත රුපියල් බිලියන 1,930ක නව දේශීය ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත. මීට අමතරව, විදේශයන්ගෙන් ඩොලර් මිලියන 1,500කට ආසන්න නව ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය චෝදනා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව හරහා ලැබෙන නව ණය මුදල් වසරේ ගෙවීමට ඇති විදේශ ණය වාරික සඳහා වැය වූ පසු, රටට ඉතිරියක් නොමැති වනු ඇති බව මෙම නිවේදනයේ සඳහන් වේ. දේශීය රුපියල් ණය ඩොලර් අගයන්ගෙන් ලේඛනගත කිරීම සන්නිවේදන පහසුව සඳහා සිදු වුවද, එමගින් රුපියල් ණය ඩොලර්වලින් පියවීමක් සිදු නොවන බව එම සංවිධානය අවධාරණය කරයි.
















