රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයකු වන සරත් වීරවංශ මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) නියෝගයක් නිකුත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ ඒකකය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ ඒකකය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාල වාහන අවභාවිතය සම්බන්ධයෙන් සරත් වීරවංශ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන බවයි. එහිදී මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සැකකරු නම් කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව, සැකකරු විදේශගත වීම වළක්වාලීම සඳහා ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළේය. එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙස ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
















