දිවයින පුරා පාසල්වලින් සියයට 44.7ක් සහ රජයේ ආයතනවලින් සියයට 40.4ක් වැනි ඉහළ ප්රතිශතයක ඩෙංගු මදුරුවන් බෝවීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා (61%), ඉදිකිරීම් බිම් (55.4%) සහ ආගමික ස්ථාන (51.5%) පරීක්ෂා කිරීමේදී ඒවායින් අඩකට වඩා මදුරුවන් බෝවිය හැකි මට්ටමේ පවතින බව හෙළි වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවැනි දිනය (09 වැනිදා) වන විට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 74ක් ආවරණය කරමින් සමස්ත පරිශ්‍ර 31,155ක් පරීක්ෂාවට ලක් කර ඇත. ඉන් පරිශ්‍ර 8,069ක් මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර, පරිශ්‍ර 1,864ක සැබැවින්ම මදුරු කීටයන් සිටින බව තහවුරු වී තිබේ.
මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් සහ ආයතනවලට එරෙහිව දැඩි පියවර ගෙන ඇති අතර, එහිදී පුද්ගලයන් 1,079 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති අතර 711 දෙනෙකුට විරුද්ධව සෘජුවම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
ජූනි 8 සහ 9 යන දින දෙක තුළ සමස්ත පරිශ්‍ර 62,351ක් පරීක්ෂා කර ඇති අතර ඉන් පරිශ්‍ර 16,190ක්ම (සියයට 26ක්) ඩෙංගු අවදානම් මට්ටමේ පවතී. පරීක්ෂා කළ මුළු ස්ථානවලින් පරිශ්‍ර 3,948ක මදුරු කීටයන් සිට ඇති අතර, ඉන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ නිවාස (58%) සහ ඉදිකිරීම් බිම් (22.4%) ආශ්‍රිතවය. මේ වන විට දින දෙකක් තුළ නීති රීති කඩ කළ ස්ථාන සඳහා නිවේදන 2,244ක් නිකුත් කර ඇති අතර පුද්ගලයන් 1,500 දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
















