අද වන විට ජාතික ජන බලවේගය (NPP) නමැති පුළුල් පෙරමුණේ ශක්තිය ක්‍රමයෙන් හීන වෙමින් පවතින අතර, ඒ තුළ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ශක්තිය සහ බලය තහවුරු වෙමින් පවතින බව ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, වර්තමාන ආණ්ඩුව ඉතා ශීඝ්‍රයෙන් පෙර පැවැති සාමාන්‍ය සම්ප්‍රදායික ආණ්ඩුවක ස්වරූපය ගනිමින් පවතින බවයි. ආණ්ඩුකරණය යනු ලේසි පහසු කටයුත්තක් නොවන බවත්, වර්තමාන පාලනය එය අභියෝගයක් ලෙස භාර ගන්නවා වෙනුවට ඉතා සුළුවෙන් තක්සේරු කරමින් සිටින බවත් හෙතෙම පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ආගමික හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වත්මන් පාලනය ගන්නා තීරණ දෙස බලන විට, සමාජයේ පවතින ප්‍රතිගාමී බලවේග සමඟ ආණ්ඩුව එකඟතාවලට පැමිණෙමින් සිටින තත්ත්වයක් දක්නට ලැබෙන බව දේවසිරි මහතා සඳහන් කළේය. ජනතාව ලබාදුන් ඓතිහාසික ජනවරමේ බැරෑරුම්කම පිළිබඳව ආණ්ඩුව නිසි අවධානයක් යොමු නොකරන බවට චෝදනා කළ ඔහු, ආණ්ඩුවේ යම් ආපසු හැරීමක් දක්නට ලැබෙන අතර එය පැරණි සාම්ප්‍රදායික දේශපාලන රාමුවටම කොටු වෙමින් පවතින බව ද පැවසීය.
මෙම තත්ත්වය හමුවේ වත්මන් ආණ්ඩුව සහ විපක්ෂය අතරමැද නව විකල්ප දේශපාලන කතිකාවක අවශ්‍යතාවයක් රට තුළ නිර්මාණය වී ඇති බව ආචාර්යවරයා අවධාරණය කරයි. ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව විවේචනාත්මකව බැලීම සහ නව ප්‍රගතිශීලී දේශපාලන මාවතක් වෙනුවෙන් වැඩ කිරීම හැර රටට වෙනත් විකල්පයක් නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















