ඉන්දීය ජනරජ ඉතිහාසය තුළ මැතිවරණයකින් තේරී පත්ව අඛණ්ඩව වැඩිම කාලයක් ධුරය හෙබවූ අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා ඉතිහාසගත වීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සුබපැතුම් ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය උණුසුම් සුබපැතුම් පිරිනමමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම ඓතිහාසික සන්ධිස්ථානය ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී දේශයේ ජනතාව මෝදි මහතාගේ නායකත්වය කෙරෙහි නැවත නැවතත් තබා ඇති විශ්වාසය මැනවින් පිළිබිඹු කරන්නක් බවයි.
නරේන්ද්‍ර මෝදි මහතාගේ පාලන කාලය තුළ යටිතල පහසුකම්, ඩිජිටල් සම්බන්ධතාව සහ මූල්‍ය අන්තර්කරණය ඇතුළු අංශ රැසක සිදුවූ කැපී පෙනෙන ආර්ථික හා සමාජීය පරිවර්තනය හේතුවෙන් මිලියන ගණනක ඉන්දීය ජනතාවක් ප්‍රතිලාභ ලබා ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ඉන්දියාව ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ආර්ථිකයක් මෙන්ම කලාපීය කටයුතුවලදී බලපෑම් සහගත හඬක් ලෙස ඉස්මතු වීම අගය කළ ඒ මහතා, ආර්ථික වශයෙන් ගතික ඉන්දියාවක් පිළිබඳ මෝදි මහතාගේ දැක්ම ශ්‍රී ලංකාව දිරිගැන්වීමට සමත්ව ඇති බව ද සඳහන් කළේය.
අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත දැක්වූ නොසැලෙන මිත්‍රත්වය සහ නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික මැදිහත්වීම් පිළිබඳව කෘතඥතාව පළ කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අන්‍යෝන්‍ය විශ්වාසය හා ගැඹුරු ශිෂ්ටාචාරමය සබඳතා මත පදනම්ව දෙරටේ හවුල්කාරිත්වය නව තලයකට ළඟා වී ඇති අතර, දෙරට අතර ඇති මෙම සබඳතාවන්හි පෙර නොවූ විරූ රිද්මය මත පදනම්ව ඉදිරියටම යෑමට තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
















